Wednesday, March 9, 2016

ජීවිතය...

ජීවිතය... ඔබටත් මටත් කිසිම විදියකින් වෙනස් කල නොහැකි... අපටත් නොකියාම කාලයත් සමග ගෙවී යන ජීවිතය...

උපන්බිමෙන් බොහෝම දුර රටක දිවි ගෙවන මම, අම්මගේ උපන්දිනේට සුභ පතන්න දුරකථන ඇමතුමක් දුන්නා... සුභ පතලා අවසානේ ගමේ වෙන දේවල් ගැන විස්තර අහද්දි අම්මා කිව්වා.. පියදාස මාම මලානේ කියලා...

අම්මට ඒක එච්චර ගාණක් නැති වුනාට, මගේ හිත ගොඩාක් ඈත අතීතෙට ගියා...

මේක පුංචි කතාවක්.. කෙනෙක්ගෙ ජීවිතය ගැන.. පියදාස මාම මගේ කවුරුවත් නොවුනට, එයා පිස්සෙක් කියල හැමෝම කිව්වාට.. මගේ ජීවිතේ එයා එක් වීරයෙක්...

මේ එයාගෙ කතාව..

මගේ මතක තියන ඈතම කාලේ 88/89 වගේ කාලෙ... මගෙ වයස අවුරුදු හතරක් පහක් විතර... ඒ කාලේ අපේ ගමේ කඩයක් තිබ්බෙ නෑ..

ආප්ප කන්න ඕන උනහම කරන්නේ ගමේ ආප්ප පුච්චන ආච්චි කෙනෙක් ඉන්නවා කෑරගල ආච්චි කියලා.. එයාගෙ ගෙදර ගිහින් සල්ලි දීලා ආප්ප අරන් එනවා...

ඒ කාලේ ආප්පයක් සත 10 ක් වගේ තමා...  මේ ආච්චි හිටියේ මැටි වලින් හදපු පොල් අතු ගෙයක... අපේ ගේත් එහෙමම තමයි.. ඉතින් උදේම ආප්ප අරන් එන්න ගියාම පෝලිමේ ඉන්නව ලිප ලඟට වෙලා උනුසුමටත් එක්ක...

ආච්චි අපිට හරි ආදරෙයි...ඒ කාලේ ආප්ප පුච්චන එක  ලේසි නෑ දැන් වගේ... ගෑස් ලිප් නෑ.. දර කෝටු දාලා , තාච්චියට උඩිනුත් වලඳකට ගින්දර දාලා තමා ආප්ප හදන්නේ..

ඒ කාලේ කිව්වේ "උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර , මැදින් සවුන්දර" කියලා...

ඉතින් මේ ආච්චිගේ පුත්තු තුන් දෙනෙක් හිටියා.. එයාගේ ලොකුම පුතා තමයි මේ පියදාස මාම... ඉස්සර මේ මාම බස් එලෙව්වා කියලා තමා මම අහල තියෙන්නේ...

ඊට පස්සේ මෙයාට පිස්සු හැදුනලු.. මම නම් දන්න කාලේ ඉඳන් පියදාස මාම කාත් එක්කවත් කතා කලේ නෑ..

මේ ආච්චි ඉතින් පොල් අතු වියලා, ඒවා විකුනලා, ආප්ප උයලා හම්බ වෙන සල්ලි වලින් තමයි මේ මාමයි එයයි ජීවත් උනේ..

ඉතින් ඔහොම ටික කාලයක් යද්දි මේ ආච්චි මලා... මාම තනි උනා... එයාට පිස්සු කියලා මිනිස්සු කිව්වට... එයා හරක් බලා ගන්නවා.. තනියම උයා පිහා ගන්නවා.. නානවා.. හැබැයි මලපහ කරන්න යන්නේ කැලේට.. :)

ඉතින් අන්තිමට මේ මාම අතේ සල්ලි නැති උනා.. ඊට පස්සේ මෙයාගෙ දින චරියාව උනේ, උදේම නැගිටල පොල් අහුලන්න යනවා... තමන්ගේ නෙමේ කාගෙ උනත් කමක් නෑ.. ඕන වත්තක.. පොල් ගෙඩියක් තිබ්බොත් අහුලගෙන යනවා...
අයිතිකාරය දැකලා ඇහුවොත් එහෙම මාම කියන්නෙ... යකෝ මේක තොගෙ වෙන්නෙ කොහොමද.. මේවා මගෙ ඉඩං කියල.. ඉතින් දීපන්කො උත්තර...

හැබැයි පියදාස මාම ගොඩක් පොල් අහුලන්නේ නෑ.. උපරිම දෙකයි නැත්නම් තුනයි..  ඒ අහුලගෙන යන්නේ හන්දියෙ කඩේට.. මුදලාලිට පොල් ගෙඩි දෙක දුන්නාම, පාන් කාලකුයි ඔය ලූණු තුනපහ ටිකකුයි දෙනවා..

ඉතින් එහෙම, හැමදාම පියදාස මාම පොල් අහුලලා ජීවත් උනා..

කාලෙකදි, පොල් ගෙඩියක් ඔලුවට වැටිල ඉස්පිරිතාලෙත් හිටියා..

මේ මනුස්සයගෙ ශරීර සෞඛ්ය හොඳටම තිබ්බා... කාටවත් කරදරයක් නැතුව... පිරිසිදුව.. කෑමට පමණක් පොල් ගෙඩියක් අහුලගෙන , පාලුවට කාන්සියට බීඩියක් බීගෙන බොහොම අවිහින්සක විදියටයි මේ මාම ජීවත් උනේ..

කාලය ගෙවීගෙන යද්දි.. අපි තරුණ උනා.. පියදාස මාම මහළු උනා.. මම ලංකාවෙන් එන්න කලින් ගෙදර යන දවසක මට මතකයි, පියදාස මාමට වාරු නෑ.. පාලු කඩේක නිදාගෙන හිටියා ඔත්පල වෙලා වගේ..

කරන්න පුලුවන් තිබ්බ එකම දේ සල්ලි දෙන එක... සල්ලි දීලා ආවෙ කැමති දෙයක් කරන්න කියලා..

අද අම්මා කිව්වාම පියදාස මාම මලා කියලා, හිතට දුක හිතුනේ ඇයිද කියන්න හරියටම නම් දන්නේ නෑ.. ඒත් මොකක්දෝ ලෙන්ගතු කමක් තිබ්බා...

මම දන්න තරමට , පියදාස මාමා පන්සලක් පැත්ත පලාතෙ ගියෙ නෑ.. හැබැයි පවක් කලෙත් නෑ.. මනුස්සයෙක් වෙලා මේ ලෝකෙට ඉපදිලා, ඔහේ මැරිලා ගියාද කියලත් හිතෙනවා...

හැබැයි, පියදාස මාම කවදාවත් අඬනවා වත්.. දුකෙන් ඉන්නවාවත්  මම දැකලා නෑ..

තමන්ගෙ ජීවිතේ හැකි පමණින් ගෙවන්න ඇති...

මේක එක ජීවිත කතාවක් විතරයි.. ඒත් මේකද ජීවිතේ කියන්නෙ..

පියදාස මාමෙ.. ඔබට නිවන් සුව ලැබේවා!!!!

No comments:

Post a Comment